Monday, November 9, 2015

සද්ධර්මාලංකාරය - Saddharmalankaraya - දේවරක්ඛිත ජයබාහු මහා ස්ථවිරයෝ

සද්ධර්මාලංකාරය - Saddharmalankaraya

                       පොළොන්නරු සමයේ වැඩී වර්ධනය වී දඹදෙණි සමයේ දී වඩාත් ව්‍යාප්ත වූ සිංහල බණ කථා සාහිත්‍යයට ගම්පොළ සමයේ දී එක් වූ තවත් මහ බණ කථා පොතක් නම් සද්ධර්මාලංකාරය යි. මෙය පාලි බසින් පැවැති බණ දහම් සිංහලට නැඟීමේ තවත් විශාල ඉදිරි පියවරකි. සද්ධර්මාලංකාරය කථා පුවත් රැසකින් යුක්ත කථා සංග්‍රහයකි.
                     සද්ධර්මාලංකාර යන වචනයෙහි අර්ථය වන්නේ බණ දහම් හි අලංකරණය නැතහොත් බණ දහම් අලංකරණයෙන් යුක්තව පැවසීම යන්නයි. සද්ධර්මාලංකාරය ලියැවී ඇත්තේ රසවාහිනීනම් වූ පාලි කෘතිය සිංහලට අනුවර්තනය කරමිනි.
                      සද්ධර්මාලංකාරයේ කතුවරයා වන්නේ නිකාය සංග්‍රහය ලියූ දෙවැනි ධර්මකීර්ති හෙවත් දේවරක්ඛිත ජයබාහු මහා ස්ථවිරයෝ ය.
                     සද්ධර්මාලංකාරය ලියැවුණේ නිකාය සංග්‍රහය බලාවතාර සන්නය ආදි වූ කෘතිවලට පසු ව බව ග්‍රන්ථය අවසානයේ එන ගාථාවලින් පැහැදිලිවේ. තව ද ඒ වනවිට මේ හිමිපාණන් සංඝරාජ පදවියට පත් ව සිටි වග එකී ගාථාවල එන යො ධම්මකිත්තිරිත සංඝරාජෝ...යන්නෙන් පැහැදිලි වේ. එබැවින් මේ කෘතිය ගම්පොළ රාජධානි සමයේ අවසන් කාලයේ දී පමණ ලියැවුණු බව තහවුරු වේ.
මෙහි පළමු පරිච්ඡේදයෙන් ධර්මයේ උත්තම භාවය පිළිබඳ විග්‍රහ කිරීම ද දෙවැනි පරිච්ඡේදයෙන් අසංඛ්‍ය කල්පය හා නිදානමය තොරතුරු ද තෙවැනි පරිච්ඡේදයෙන් සූවිසි විවරණය ද විස්තර වේ. සිව් වැනි පරිච්ඡේදයේ පටන් වූ කථා වස්තු සහිත පරිච්ඡේද ඒ ඒ පරිච්ඡේදයට ඇතුළත් කථා පහෙන් මුල් කථාවේ නමින් නම් කොට තිබේ.
                 සද්ධර්මාලංකාරයෙහි දැකිය හැකි විශේෂත්වයක් නම් එහි එන බොහොමයක් කථා බුද්ධ පරිනිර්වාණයෙන් පසුව දඹදිව ද ලක්දිව ද පසුබිම් කොට ගත් පුරා වෘත්තවීම යි.
                මෙසේ පළ කෙරෙන ධර්ම කාරණ, අතුරෙහි මේ කථා වස්තුවලින් ඓතිහාසික තොරතුරු රාශියක් ද නිරාවරණය කෙරෙනු දකින්නට පිළිවන. විශේෂයෙන් ලංකාව පසුබිම් කොට ගත් කථාවලින් ලංකා ඉතිහාසයෙහි ලා වැදගත් ඇතැම් තතු මෙයින් ප්‍රකට වේ.
                  රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳ ව පමණක් නොව සාමාන්‍ය ගැමි ජනතාව ගැනත් ඔවුන්ට අදාළ සමාජමය කරුණු ගැනත් තොරතුරු මේ කථාවලියෙන් නිරූපණය වේ.
               සද්ධර්මාලංකාරය යනු සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි කෘති අතරට ගැනෙන ප්‍රමාණයෙන් විශාල පොතකි. එසේ ම සද්ධර්මාලංකාරය ප්‍රචලිත සහ ප්‍රියතම බණ පොතක් සේ භාවිතයෙහි යෙදුණු බව ද දකින්නට හැකිය.

අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය ආදි වූ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ තරමට නො වුණත් ඊට ආසන්න වූ උසස් කෘතියක් ලෙසින් සද්ධර්මාලංකාරය හැඳින්වීමට පිළිවන. ධර්ම ග්‍රන්ථයක් මෙන් ම උපදේශ ග්‍රන්ථයක, ඉතිහාස ග්‍රන්ථයක ඇතැම් ලක්ෂණ ද සහිතව ලියැවුණු සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙසින් සද්ධර්මාලංකාරය වැදගත් වේ. ලක්බිම පරිසරයේ උපන් කථා බහුතරය ඇතුළත් ව ලියැවුණු ග්‍රන්ථයක් සේ ද කලකට පසු ලියැවුණු උසස්තම කෘතියක් සේ ද ගම්පොළ යුගයේ අග්‍රගණ්‍ය සාහිත්‍ය නිර්මාණය සේ ද සද්ධර්මාලංකාරය සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලියෙහි කැපී පෙනෙන පුස්තකයකි.

No comments:

Post a Comment