Monday, November 9, 2015

Daham sarana - දහම් සරණ - විද්‍යාචක‍්‍රවර්ති

දහම් සරණ - Daham sarana

                 සරණ ග‍්‍රන්ථත‍්‍රයේ දෙවැන්න දහම්සරණ යි. සම්බුද්ධ රත්නයේ මහිම වර්ණනය කරමින් බුත්සරණ ලියැවී තිබිය දී සද්ධර්ම රත්නයේ අනුසස් වර්ණනය කරනු වස් දහම් සරණ ලිවීම කතුවරයාණන් ගේ අභිප‍්‍රායය වූ බැව් පැහැදිලි ය. බුත්සරණ කතුවරයා කවුරුන් ද යන්න එහි පැහැදිලිව සඳහන් වුව ද දහම් සරණ කතුවරයා කවුරුන් දැයි අනාවරණය නො වේ. එහෙත් දහම් සරණ කතුවරයා ද බුත්සරණ ලියූ විද්‍යාචක‍්‍රවර්තීන්ම බව ඇතැම් උගත්හු අදහස් කරති.
                ‘බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතුයනුවෙන් බුත්සරණෙහි නිරන්තර ව දැක්වෙන්නා සේ ම දහම් සරණ යෙමියි දහම් සරණ යා යුතුයනුවෙන් දහම් සරණෙහි ද සඳහන් වනු දකින්නට පිළිවන. මේ යෙදුම දහම් සරණ විද්‍යාචක‍්‍රවර්තීන්ගේ ම කෘතියකැයි සැලැකීමට එක් හේතුවක් වී තිබේ.
                දහම් සරණ ආරම්භ වන්නේ මෙලෙසිනි. ධම්මං සරණං ගච්ඡාමි. දහම් සරණ යෙමි. කෙබඳු වූ දහම් සරණ ද යත්; අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි සොයා වෙහෙසී, අන්තයෙහි බෝමැඬැ වජ‍්‍රාසනයෙහි වැඩැහිඳ සව්නේ ගෙවා දන් කෙණෙහි පසක් කළා වූ දහම් සරණ යෙමි යි දහම් සරණ යා යුතු.මේ මුල් ඡේදයෙන් ම කතුවරයා සිය පරමාර්ථය කුමක්ද එහි ප‍්‍රස්තුතය කවරේද අදාළ විෂය ක්ෂේත‍්‍රය කෙබඳු වේ ද යන කරුණු සියල්ල පිඬුකොට දක්වා ඇත. ඒ අනුව රචිත කෘතිය ප‍්‍රධාන පරිච්ඡේද තුනකින් යුක්ත වෙයි.

              දහම්සරණ අග භාගය වන්නට වඩ වඩාත් මටසිලිටි පැහැදිලි භාෂා ව්‍යවහාරයක් භාවිත වනු දකින්නට හැකි ය. මේ අනුව බලනවිට වරක ගැඹුරු භාෂා විලාසය ද තවත් විටක ලිහිල් භාෂා විලාසය ද එසේ ම අතිදීර්ඝ වාක්‍යය ද ඉතා කෙටි වාක්‍ය ද ආදි වශයෙන් භාෂාව භාවිත කරමින් දහම් සරණ ලියැවී තිබෙනු දකින්නට හැකි ය.

No comments:

Post a Comment